වැස්ස

Monday, July 4, 2011

පුරුදු විදියට අදත් ඒ වැස්ස වහිනවා.

ආත්මගත ආදරේ මහමෙරක් වගේ මතකය හිත කොණිත්තගෙන මතුවෙන්නේ ඉස්කෝලෙ කාලේ ඒ ඇස්වලට යටින් මෝදුවුන නන්නාදුනන අහිංසකත්වයත් දෝතින් අරගෙන.

හිත් දැඩි කරගත්තු ඕනම ජගතෙක් තමන්ගේ හිත මොනතරම් ශක්තිමත් කිව්වත් හිතේ රළුකම ගෙවාගෙන විරහවක වේදනාව මතුවෙනවා. ඒ අරුමෙට තවත් අඩුවැඩිය එක්කරන්නේ ස්වාභාව ධර්මයේ කදුළු කැට.

ඔව්, අන්න හරි, වැස්ස කියන්නේ ඒ සංසාරගත කදුළු කැට වලට තමයි.



මන්දාරම්.. අදුර මැදින්..

හිරිපොද වැහි වැටෙන වෙලේ..

මා හා ඇවිදන් යන්නට..

ඔබ සිටියානම්.. ඔබ සිටියානම්..


ඒක මහා අරුමෝසම් කාලයක්. ආදරේ ගින්දර හිතට නොවැදේවි කියලා සමනළ කාලෙ අපි කොච්චර හිතුවත් ජීවිතේ ඉටුවෙන ඉටුනොවෙන බලාපොරොත්තු මැද්දේ අපිව කවුදෝ දෙපැත්තකට ඇද ඇද හිටියා. වැහි කැට අස්සෙන් ඒ ඇස් හිනාවෙන කොට අපි අපේ ආදරේ අපේ පපුවට තුරුල් කරගන්නේ සක්විති රජ කම ලැබුනා වගේ විජයග්‍රාහී හැගීමකින්.

අනිත් මිනිස්සු ආදරේ නොකළා නෙමේ. ඒත් අපේ ආදරේ තරම් ඒ ගනුදෙනු ස්ථිරයි කියලා අපි හිතන්න උදෙක්ම අකමැති වුනා.

ඒත් අපිටත් වඩා තද බැඳීමක් ඒ හිතවත්කම් ගොඩනගා ගෙන තිබුනා.

වැස්සට තෙතබරියං වෙන අපේ හිත් උණුසුම් කලේ කප්පරක් බලාපොරොත්තු. හීන. ඒ හීනවලට පන දුන්නේ තිස්සේම කලබලෙන් වටපිට බලන ඒ අහිංසක ඇස්.

ජීවිතේ මොනතරම් රහක් තිබුනාද.. ජීවිතේට මොනතරම් නැවුම්බවක් තිබුනද..


මතකද හැන්දෑවේ අපි දෙන්නා

මන්දාරම් අඳුරේ

දවසක් ම වැස්සේ තෙමුනා..

තනිකම දැනුනත් හිතට

මතකය නැහැ නික්මිලා

මනරම් හැගුම් දහස

සොඳුරේ ඔබමය හැමදා..


හීනයක් වගේ ඇරඹුනු දේවල් හීනයක් වගේම තුරන් වෙලා යද්දී අපි කාටත් හිතුනා නේද ඇස් සදහටම පියාගන්න? මම නම් නෑ කියන්නේ නෑ.. ඒ තරමටම මේ වැස්ස නිසා මගේ අධ්‍යාත්මය ඇහැරිලා. මගේ හෘද සාක්ෂියට මම බොරු කරන්නේ නෑ.

මොකටද එහෙම කරන්නේ.. ඒ විරහවෙත් ජීවිතේට පාර කපන යම්කිසි සුන්දරත්වයක් තිබුනා.

මේ වැස්ස දිහා බලාගෙන, කඩාවැටෙද්දි හඩා වැටෙන ඒ හඩට ඇහුම්කන් දෙන්න. ඒ ඇහෙන්නේ අපේම යටගියාව. පස් දාලා වලලලා, අපි සමුදුන්නු ඒ අතීතයට පණ දීලා විඳවන්න කියනවා නෙමේ, ඒත් වැස්සට හේදිලා ගිය ඒ මතකයෙන් අවුන්සයක් නිකමට එලියට අදින්න.

මුලින්ම නොදැනුවත්වම ඔබේ මුහුනේ හිනාවක් ඇ‍‍ඳෙයි. ඊටපස්සේ ඇග කිලිපොලාගෙන යන සියුම් මතක ධාරාවක් එක්ක ලොකු සුසුමක් හිස් වාතලයට එකතු වේවි.

ඔබ විශ්වාස කරනවාද දැන්, විරහවෙත් අහිංසක සුවයක් තියෙනවා.

ඒ අය දැන් මොනවා කරනවා ඇද්ද.. කාව විවාහ කරගෙන ඇද්ද.. දැන් හම්බවුනොත් කියන්න මොනතරම් දේවල් තියේවිද.. අපිට වගේම ඒ අයටත් ඉඳහිට හෝ අපිව නිරායාසයෙන් මතක් වෙනවා ඇති. අපි ගැවසිච්ච තැන් ඇස ගැටෙද්දි, ඒ තැන්වල සුළු හෝ මොහොතක් නැවතිලා අවුරුදු ගණනකට කලින් එතනදී අපි පොලොවට යටකරපු මතකයට ඔහේ හිතේ පෙරලිකරන්න දෙන්න ඔබ අකමැති නෑ නේද?

ජීවිතේ එහෙමයි කියලා අපි අද හිත හදාගත්තට, එදා ඒ දේ කරන්න අපි උත්සහා කළේ මොනතරම් විඳවලාද.. එදා අපේ පපුවට දැනිච්ච මහමෙරක් තරම් ඒ බර අපි බිමින් තිබ්බේ මොනතරම් අසීරුවෙන්ද.. මතකද එදත් මේ වැස්ස අපේ කදුළු වහන් කරපු හැටි.. අදත් එහෙමයි..


“ජීවිතේ කියන්නේ හරියට වැස්ස වගේ දෙයක්. නොහිතන වෙලාවට කඩං වැටිලා හෙවනක් හොයාගන්නත් කලින් අපිව තෙතබරියං කරනවා”.


වැස්සට යටින් ජීවිතේ හෙම්බත් කරපු ඒ ආදරේ ඇස් පනා පිටම මැවි මැවී හිත උණුසුම් කරනවා..

මෙපමණ දේවල් ලිව්වේ ඉඳහිට හෝ ගොඩවැදී යන ඔබ සියල්ලන්ගේ සිත් සසළ කරන පටු පරමාර්ථයෙන් නම් නෙමේ. මතකය අවුස්සා මා විඳි ඒ සියල්ල මා වෙනුවෙන් දරාගන්නට ඔබ මෙහි ඇඳබැඳ තබාගත්තාත් නොවේ. සමාවන්න. ජීවිතය එසේ යැයි සිතා සිත හදාගන්න.

0 අදහස් සහ උදහස්:

Post a Comment