මගේ අම්මා

Wednesday, August 3, 2011


හදවත වේදනාවෙන් සිරකරලන මේ සිදුවීම මට තවත් දරාගත නොහැකිය. හැම රැයකම මා ඇයව සිහිනෙන් හෝ ප්‍රාර්ථනා කරන්නේ මට ඇයගෙන් සමාව ගත යුතු නිසායි. ඒත්........

මේ සිදුවීම ඇරඹෙද්දී මං හුඟක් පුංචි යි. මට ඈව මතක තිබූ කාලයේ මගේ අම්මාට තිබුණේ එක ඇසක් පමණයි.

විරූපි අම්මා කෙනෙක්. හරිම අප්‍රසන්න දසුනක්. ඇගේ තනි ඇස නිසා ඇයත් නිතරම අපහසුවෙන් හිටියේ. කෙසේ වෙතත් මං හැමවිටම ඇයව පිළිකුල් කළා.

මට මතකයි, දවසක් ඇය මගේ පාසලට පැමිණි දිනය. ඒ කාලයේ මං ඉගෙන ගනිමින් සිටියේ ප්‍රාථමික අංශයේ. ඇයගේ ආදරය නිසා ඇය මාව බලන්නට පැමිණ සිටියත් ඇය දුටු විගස මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඒ වෙලාවේ මට හුඟක් තරහා ගියා.

අම්මා ඇයි මට මෙහෙම කරන්නේ?

ඇයගේ විරූපී මුහුණද සමගින් ඇය දැන් පාසලටත් ඇවිත්. ඒ මොහොතේ මං ඇයට වචනයක්වත් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඈ වෙත නපුරු බැල්මකින් දමා ගැසුවා.

පහුවදා පාසලේ මිතුරන් මට සරදම් කළා.

“ඊ ඊ ඊ... ඔයාගේ අම්මාට තියෙන්නේ එක ඇහැයි. ඒ මොකද ඒ?

ඒ වෙලාවේ මං හුඟක් අසරණ වුණා. මුළු ලෝකයෙන්ම සැඟවී යන්නට ඇත්නම් යැයි සිතුණා. අම්මා ඒ මොහොතේම අතුරුදන් වී යනවා නම් කොච්චර හොඳ දැයි සිතුණා.

එදා සවස මම ඇය සමඟ කතා කළේ දැඩි අමනාපයෙන්.

අම්මා ඔය හදන්නේ මාව විහිළුකාරයෙක් කරන්නද? ඇයි ඔයා මැරිලාවත් නොයන්නේ?


මගේ අම්මා කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මං එදා ඒ කියපු දේ ගැන දෙපාරක් හිතුවේත් නැහැ. ඒ මම එදා හුඟක් තරහෙන් සහ ලැජ්ජාවෙන් සිටි නිසා.

මට සැමවිටම අවශ්‍ය වූයේ නිවස හැර දමා යාමටයි. මට අම්මාව පොඩ්ඩක්වත් අවශ්‍ය වුණේ නැහැ.

ඒ අතරේ මං හුඟාක් මහන්සිවෙලා ඉගෙන ගත්තා. මට පිටරටකට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පසු හොඳ රැකියාවක් ලැබුණා.

පසු කාලයක මං විවාහ වුණා. ගෙයක් හැදුවා. හැමදේම සාර්ථක වුණා.

මගේ බිරිය සහ දරුවන් සමඟ මගේ ලෝකය සතුටින් පිරුණා.

කාලය ගෙවී ගියේ ඒ අයුරින්.

දවසක් මගේ අම්මා මාව දකින්න පැමිණ සිටියා. මං ඇයව දුටුවේ අවුරුදු ගණනාවකින්. මගේ දරුවන් කවදාවත් ඇයව දැක තිබුණේ නැහැ.

මගේ දරුවෝ ඇය දැක බිය වුණා. ඒ අප්‍රසන්න මුහුණ, අනේ දෙවියනේ. ඇය මගේ කෝපය නංවන හැටි.

අම්මේ, ඇයි මගෙන් ඈත්වෙලා ඔයා නොයන්නේ? ආ.... කිසි වගක් නැතුව මෙහේ ඇවිත්... ඔයා මගේ දරුවන්වත් හොඳටම බය කරලා. දෙයියන්ගේ නාමෙට මෙහෙන් පිටවෙලා යන්න. මොන කරදරයක්ද මේ. එලෙස අනාරාධිතව පැමිණීම ගැන ඒ වෙලාවේ මම කෑ ගසා ඇයට බැණ වැදුණා මතකයි.

ඒත් ඒ වෙලාවේ මගෙ අම්මා පිළිතුරු දුන්නේ බොහොම සන්සුන්වයි.

“අනේ මට සමාවෙන්න. මේක වැරදීමක් වෙන්නැති. මට අංකය වැරදිලා මං හිතන්නේ. මං වැරදි ගෙයකටයි ඇවිත් තියෙන්නේ. මට සමාවෙන්න මම යන්නම්.” ඊට පසු ඇය ඉක්මනින් මගේ දෑස්වලින් ඉවත් වූ හැටි මට මතකයි.

මේ අතරේ මගේ මුල් පාසලේ ආදි සිසු හමුවක් පැවැත්වෙන බව දන්වමින් මට ලිපියක් ලැබී තිබුණි. සතුටුදායක අවස්ථාවක් වූ මෙය මගේ හිතට සැහැල්ලුවක් එක් කළා. මගේ පුංචි කාලයේ පැරැණි මිතුරන්ගේ හමුවීම මට ප්‍රීතිමත් එකක් වුණා.

ආදි සිසු හමුව නිමාවීමෙන් පසුව මා ගම්මානයේ මගේ කුඩා පැරණි නිවෙස වෙත ඇවිද ගියේ ඇයි දැයි මට තවමත් හිතාගන්න බැහැ.

මම එහි ගියා. මගේ පුංචි ගෙදර. ඒත් කිසි වටිනාකමක් නැති. අම්මා එහි හිටියෙත් නැහැ. ජරාජීර්ණ වූ පාළු ගෙය හැරදා මා ආපසු හැරී ආවා. ඒත් මගේ පැරැණිතම අසල්වැසියන් හා දුදරුවන් එහි හිටියා.

ඔවුන් මට යමක් කියන්න උත්සහ කළා.

“ඇයි?” මං ඇසුවා.

“ඔයාගේ අම්මා මැරුණා”

මං ඔවුන් ඉදිරියේ වෙනස් වීමට ලොකු උත්සහයක් ගත්තා. ඒත්, මං ඇතුළතින් පොඩ්ඩක්වත් කණගාටු වුණේ නැහැ. මට එය දැනුණේවත් නැහැ. මට සිහිවුණේ ඇගේ විරූපී මුහුණ පමණයි.

ඒ සමඟ ඔවුන් මා අතට ලිපියක් පත් කළා. මේ තිබෙන්නේ ඒ ලියුමයි.

මගේ ආදරණීය පුතේ,

මං හැම වෙලාවෙම හිතුවේ ඔයා ගැනම යි.

මට සමාවෙන්න. මේ හැම දෙයක්ම සිදුවෙන්නේ ආදරය වැඩිකමටයි. පුතේ, ඔයාගේ ගෙදර ඇවිත් පුංචි දරු පැටවු ටික බය කළාට මට සමාව දෙන්න. මං දැනගෙන හිටියා ඔයා ආදි සිසු හමුවට එන බව. අනේ මට හරි සතුටුයි.

පුතේ මට දැන් හුඟක් අසනීපයි. සමහරවිට ආයේ කවදාවත් ඔයාව බලන්න එන්න බැරිවෙයි. මං නිසා ඔයා කොච්චර ලැජ්ජාවට පත්වුණාද කියලා මං දන්නවා. මට සමාවෙන්න මගෙ පුතේ.

පුතේ, ඔයාට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයා ගොඩක් පුංචි කාලේ ඔයාට අනතුරක් සිද්ධ වුණා. ඒ වෙලාවේ ඔයාගේ ඇසකට හානි වෙලා ඒක ගලවා දමන්න සිදුවුණා. ඔයාගේ අම්මා ඒක කොහොම බලා ඉන්නද? එක ඇසක් සමඟ ඔයා ලොකු දරුවෙක් වෙනකොට ඔයාට දැනෙන දුක මට දරාගන්න නම් කොහොමත් බැරි වුණා. ඒ නිසයි, මගේ පුතේ, මං ඔයාට මගේ ඇහැක් දුන්නේ.

දැන් ඔයාට ලෝකය බලන්න ඇස් දෙකක්ම තියෙනවානේ.

ඒ සතුට තමයි මගේ ජීවිතය පුරාම රැඳී තිබුණේ. මගේ පුතේ, මං ඔයාට හැමදාමත් ආදරෙයි.

මම
ඔයාගේ අම්මා.


6 අදහස් සහ උදහස්:

චතුමිතු said...

කලින් කියවා ඇති ලිපියකි.. නමුත් රූප රචනය දැක්කේ අදයි.. ගොඩක්ම සංවේදි කතාවක්.. ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට සහෝ.. :)

Deeps said...

මේ කතාවම මීට කලින් ඊ යකින් කියෙව්වා වගේ මතකයි

Char said...

ස්තුතියි...

නුවන් ලසන්ත said...

fattai char, kalin kiyawala tiyenawa ,meka beda gattata thanks, digatama liyapan

Anonymous said...

මම නම් පළමු වතාවට කියෙව්වෙ අදයි මේ කතාව... අපි වෙනුවෙන් යළි පළ කලාට ස්තූතියි

සංකල්ප said...

පට්ට ලිපියක්. මම නම් අදමයි මේ ලිපිය කියෙව්වේ. අනිත් අය කොහොම කලින් කියෙව්වද මන්දා

Post a Comment