අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින

Tuesday, May 17, 2011

කාලෙකින් blog එක පැත්තෙ ආවෙ, පහුගිය දවස් වල ටිකක් කාර්ය්‍යබහුල වුණා. වෙසක් පෝයත් ආව නිසා මට හිතුණා අද වෙනස් දෙයක් ගැන කතා කරන්න.

අද මම ලියන්නේ කොසොල් රජතුමා දුටු සිහි
න 16 ගැනයි.


පළමු සිහිනය

‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.


තථාගතයන් වහන්සේ මෙම සිහිනය විවරණය කරමින් ‘රජතුමනි! මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය.

එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.


දෙවන සිහිනය

ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?


මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන
අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.


තෙවන සිහිනය

ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.


‘ මහ රජතුමනි! මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.


සිව්වන සිහිනය

ස්වාමීනි සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට
නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.


‘මහරජතුමනි!, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී
ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.


පස්වන සිහිනය


ස්වාමීනි මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.


‘මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත - චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.

හයවන සිහිනය

ස්වාමීනි මා දුටු හයවන සිහිනය නම්, මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.


රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.


සත්වන සිහිනය

ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම්, මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.



මහරජතුමනි! මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.


අට වන සිහිනය

ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පි
රී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.



මහරජතුමනි! මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.


නව වන සිහිනය

ස්වාමීනි! මාදුටු නව වන සිහිනය නම්, හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.


මහරජතුමනි! අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.


දසවන සිහිනය

ස්වාමීනි! දසවන සිහිනය නම්, කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් 3 කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.



මහරජතුමනි! අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.



එකොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.


මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති.ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති. මෙය එකොළොස්වන සිහිනයේ පලාඵළය වන්නේය.


දොළොස් වන සිහිනය

ස්වාමීනි! මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.


මහරජතුමනි! මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.


දහතුන් වන සිහිනය


ස්වාමීනි! දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.


රජතුමනි අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.




දහහතර වන සිහිනය


ස්වාමීනි මාදුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.


රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන්
බවට පත් කොට සලකති.



පහලොස්වන සිහිනය

ස්වාමීනි! පසළොස් වන සිහිනය නම් කපුටෙකු රන්වන්
හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.


රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

දහසයවන සිහිනය

ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?



මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.


මේ සිහින දැනටත් හොඳට පේන්න නම් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න......









Friday, March 25, 2011


ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල....


අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත් වැටිලා තියෙනවා. නමුත් තවමත් ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති.... සිදාදියේ ගාමන්ට් එකක දණහිස් පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ......

කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???

ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි....

ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන් බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්.....තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්, TV එකේ හරි Fm නාලිකාවක හරි කියන එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්.....

ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති වෙච්ච කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්...


එත්......කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ, පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ... කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ... මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි....

ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ....තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ ...ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා.... ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි....මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති දෙයක් නොවන නිසා...
උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් "සෙනහසේ අරුණැල්ල ".අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් "සෙනහසේ අරුණැල්ල " වෙනුවෙන් ඔබත් එකතු වන්න...


පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න...ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ....ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..


ඉතින්...කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත් මහා ආශීර්වාදයක් වේවි.....ඉතින් ....මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි......සැබවින්ම ඔබ අපිට විශ්වාසයි....



තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ


වැඩි විස්තර සදහා
senahasearunella@gmail.com
අමතන්න..

අමිල 0716315399
නවින්ද 0714476276

Facebook page:
http://www.facebook.com/home.php?sk=group_131804360213817
Web:
http://www.senahasearunalla.co.cc